




ලෝකය පුරා යුද ගිනි ඇවිළෙද්දී සහ මිනිස් සිත් වෛරයෙන් පිරී යද්දී, “සාමය ඇත්තේ තමන් තුළමයි” යන උතුම් බුදු වදන ලොවටම පසක් කරලන්නට ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට ක්‍රියාත්මක වූ අසිරිමත් මෙහෙවර දැන් අපේ රටේදී නව පරිච්ඡේදයක් සනිටුහන් කර තිබේ. පූජ්‍ය පානකර (Paññākāra) හිමියන් ප්‍රමුඛ විදේශීය මහා සංඝරත්නය විසින් ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටන් ඩී.සී. දක්වා සැතපුම් 2,300 ක අසිරිමත් පාද යාත්‍රාව (Walk for Peace) නිම කිරීමෙන් පසු, එම සාමයේ පණිවිඩය රැගෙන දැන් ශ්‍රී ලංකාව පුරා සංචාරය කරමින් සිටිති.
කවුද මේ සාමයේ දූතයෝ?
මෙම පාද යාත්‍රාවේ නායකත්වය දරන පූජ්‍ය පානකර හිමියන් (Bhikkhu Paññākāra) වියට්නාමයේ උපත ලබා ඇමරිකාවට සංක්‍රමණය වූ, පසුව පැවිදි දිවියට පත් වූ හිමිනමකි. උන්වහන්සේ පැවිදි වීමට පෙර මෝටරෝලා (Motorola) සමාගමේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කර ඇත. මෙම කණ්ඩායමට වියට්නාමය, තායිලන්තය, බුරුමය (මියන්මාරය) සහ ඇමරිකාව වැනි විවිධ රටවලින් පැමිණි භික්ෂූන් වහන්සේලා ඇතුළත් වන අතර ඔවුන් සියල්ලෝම ටෙක්සාස්හි හුං දාඕ (Hương Đạo) විපස්සනා භාවනා මධ්‍යස්ථානය නියෝජනය කරති.
ඇමරිකාවේ අසිරිමත් ගමන
2025 ඔක්තෝබර් 26 වනදා ආරම්භ වූ මෙම පාද යාත්‍රාව මාස හතරක් පුරා ප්‍රාන්ත 10 ක් පසුකරමින් 2026 පෙබරවාරි 13 වනදා වොෂින්ටන් ඩී.සී. හිදී නිමාවට පත් විය. දැඩි හිම පතනය සහ දරාගත නොහැකි ශීතල මධ්‍යයේ වුවද උන්වහන්සේලා නතර නොවූහ. මෙම ගමන අතරතුර ටෙක්සාස්හිදී සිදු වූ රිය අනතුරකින් එක් හිමිනමකට සිය පාදයක් පවා අහිමි වූ නමුත්, එම කණ්ඩායම අතිමහත් ඉවසීමෙන් යුතුව සිය අරමුණ කරා ළඟා වූහ.
ශ්‍රී ලංකා සාම පාද යාත්‍රාවේ ගමන් මඟ (අප්‍රේල් 21 – මැයි 01)
අද (අප්‍රේල් 21) අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසින් ඇරඹි මෙම පාද යාත්‍රාව දිවයිනේ ප්‍රධාන නගර රැසක් පසුකරමින් කොළඹ දක්වා ගමන් කරයි. මෙහි සම්පූර්ණ කාලසටහන:
අප්‍රේල් 21: අනුරාධපුරයේ සිට දඹුල්ල දක්වා.
අප්‍රේල් 22: දඹුල්ල සිට මාතලේ අලුවිහාරය දක්වා (කි.මී. 47).
අප්‍රේල් 23: මාතලේ සිට මහනුවර දක්වා (කි.මී. 28).
අප්‍රේල් 24: මහනුවර දළදා මාලිගාවේ වත් පිළිවෙත්වලින් පසු බෙලිගම්මන දක්වා (කි.මී. 25).
අප්‍රේල් 25: බෙලිගම්මන සිට තොළංගමුව දක්වා (කි.මී. 25).
අප්‍රේල් 26: තොළංගමුව සිට යක්කල දක්වා (කි.මී. 33).
අප්‍රේල් 27: යක්කල සිට කැළණිය රජමහා විහාරය දක්වා (කි.මී. 21).
අප්‍රේල් 28: කැළණිය සිට කොළඹ නිදහස් චතුරස්‍රය දක්වා.
විශේෂ රාජ්‍ය උත්සවය සහ ධාතු ප්‍රදර්ශනය
අප්‍රේල් 28 වනදා නිදහස් චතුරස්‍රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ රාජ්‍ය උපහාර උත්සවයක් පැවැත්වේ. අප්‍රේල් 29 සහ 30 යන දිනවල කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කෙරෙන අතර, මෙහිදී අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලබාගත් බෝධි ශාඛාවක් ද ඇමරිකාවේ විහාරස්ථානය වෙත වැඩම කරවීම සඳහා භාර දීමට නියමිතය.
ආලෝකා (Aloka): සාමයේ සුනඛයා
මෙම පාද යාත්‍රාවේ තවත් සුවිශේෂී චරිතයක් වන්නේ ඉන්දියාවේදී මුණගැසී පසුව ඇමරිකාවේ සැතපුම් 2,300 ම භික්ෂූන් වහන්සේලා සමඟ ඇවිද ගිය “ආලෝකා” සුනඛයායි. ආලෝකා ද මේ වන විට ලංකාවට පැමිණ සිටින අතර පාද යාත්‍රාව සමඟ එක්ව ගමන් කරනු දැකගත හැකිය.
පූජ්‍ය පානකර හිමියන් ඇතුළු මෙම විදේශීය භික්ෂූන් වහන්සේලාගේ පැමිණීම, ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය ලොව පුරා ප්‍රචලිත කිරීමටත්, ජාත්‍යන්තර සාමය උදෙසා එක්ව කටයුතු කිරීමටත් මහඟු අවස්ථාවක් වනු ඇත.