දකුණු පළාතේ පාසල් 270කට රුපියල් මිලියන 153ක් වටිනා සුහුරු පුවරු සහ STEM තාක්ෂණික උපකරණ ප්‍රදානය කෙරේ
දකුණු පළාතේ පාසල් පද්ධතිය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීමේ අරමුණින්, රුපියල් මිලියන 153ක වටිනාකමින් යුත් සුහුරු පුවරු (Smart Boards) සහ STEM තාක්ෂණික උපකරණ ප්‍රදානය කිරීමේ සමාරම්භක උත්සවය අද (12) පෙරවරුවේ ගාල්ල, ඉහළගොඩ සුමංගල ආදර්ශ විද්‍යාලයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
දකුණු පළාත් ගරු ආණ්ඩුකාර ආචාර්ය සුසිරිපාල මානවඩු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන යටතේ, දකුණු පළාතේ පාසල් 270ක් සඳහා මෙම නවීන තාක්ෂණික මෙවලම් හිමි වේ. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් 64කට ද, මාතර දිස්ත්‍රික්කයේ පාසල් 115කට සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් 91කට ද මෙම උපකරණ බෙදා දීමට කටයුතු යොදා ඇත.
මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංක යූ. ගමගේ යන මහත්වරුන් මෙන්ම අක්මීමන ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ද සහභාගී වූහ. මීට අමතරව අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහ රාජ්‍ය අංශයේ උසස් නිලධාරීන් රැසක් ද මෙම සමාරම්භක උළෙල සඳහා එක්ව සිටියහ.
මෙම ව්‍යාපෘතිය හරහා දකුණු පළාතේ සිසු දරු දැරියන්ට ගෝලීය අධ්‍යාපන ප්‍රවණතා සමඟ එක්වෙමින් තාක්ෂණික දැනුම වර්ධනය කර ගැනීමට මනා පිටුවහලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.